ඊශ්‍රායලය සහ හමාස් ත්‍රස්තවාදීන් අතර සටන් ආරම්භ වී මේ ගත වෙමින් තිබෙන්නේ 112 වන දිනයයි. මේ වන විට ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ වැඩි ප්‍රදේශයක් අත් පත් කරගෙන සිටින ඊශ්‍රායල හමුදා දකුණු දිග ගාසා තීරයේ දකුණු ප්‍රදේශයේ ඛාන් යුනිස් නගරයේ අනුකම්පා විරහිත ප්‍රහාර මාලාවක නිරත වෙමින් සිටිනවා. ඛාන් යුනිස් නගරය අත්පත් කර ගැනීමේ අතිශයින් ප්‍රබල උත්සාහයක නිරත වෙන ඊශ්‍රායල හමුදා, මීට දිනයකට පෙර එල්ල කල ප්‍රහාරයක් නිසා අන්තර්ජාතික ප්‍රජාව අතරේ ආන්දෝලනයක් ඇති කරවන්නට සමත් වුනා. ඒ ඔවුන් විසින් ජගත් සංවිධානයේ රැකවරණ මධ්‍යස්ථානයකට ප්‍රහාරයක් එල්ලා කලා යන සැකය මතු වීම නිසායි. එක්සත් ජාතීන්ගේ සංවිධානය සදහන් කරන්නේ ඊශ්‍රායල යුධ ටැංකි මගින් ඛාන් යුනිස් නගරයේ 30,000 ක් පමණ පලස්තීනුවන්ට රැකවරණය ලබා දෙන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කල ස්ථානයට ශෙල් වෙඩි ප්‍රහාර එල්ල කල බවයි. මෙම ප්‍රහාරය නිසා විශාල පිරිසක් මරනයට පත් වී ඇති අතර ගොඩනැගිලි දෙකක්ද සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.