ඊශ්‍රායලය සහ හමාස් ත්‍රස්තවාදීන් අතර ගැටුමේ දෙපාර්ශවය එකග වූ හතරවන සටන් විරාම දිනය බවට පත් වුනේ ඊයේ දිනයයි. ඒ අනුව හතරවන දිනයේදී දෙපාර්ශවයේම එකගත්වය මත පලස්තීන සිරකරුවන් ලෙස සිටි කාන්තාවන් තිදෙනෙක් සහ දරුවන් 30 දෙනෙක් නිදහස ලබා ගත් අතර හමාස් ත්‍රස්තවාදීන් විසින් රදවාගෙන සිටි ඊශ්‍රායල සිරකරුවන් 11 දෙනෙක්ද නිදහස් කර තිබුණා. ඒ අනුව කටාර් රාජ්‍යය පෙන්වා දෙන්නේ යම් හෙයකින් සටන් විරාමය තවත් දින දෙකකින් දිගු කිරීමට ඊශ්‍රායලය කැමති නම් ඊශ්‍රායල ජාතිකයන් 20 දෙනෙක් සහ පලස්තීන ජාතිකයන් 60 දෙනෙකුට නිදහස ලබා ගැනීමට අවස්ථාව හිමි වෙන බවයි. මේ වන විට මෙම යුද්ධය නිසා මිය ගොස් සිටින පලස්තීන ජාතිකයන් ගණන 15,000 ක්. ඔක්තෝම්බර් 7 වනදා සිට මිය ගොස් තිබෙන ඊශ්‍රායල ජාතිකයන් ගණන 1200 ක්. 

අල් ජසීරා මාධ්‍යය වාර්තා කලේ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් මේ වන විට නිවේදන දෙකක් නිකුත් කරනු ලැබුවත් එයින් එකක හෝ සටන් විරාමයේ දිගුවක් පිලිබදව සදහනක් දකින්නට නොමැති බවයි. ඔවුන් එම නිවේදනයෙන් සදහන් කර තිබෙන්නේ තවත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් පිරිසක් නිදහස් කරන්නේ නම් පලස්තීන ජාතික කාන්තා රැදවියන් 50 ක් නිදහස් කිරීමට තමන් සූදානම් බවයි. ලෝකයේ රටවල් බොහොමයක් සටන් විරාමය දීර්ඝ කල යුතු බවට මත පල කලත් තවමත් ඊශ්‍රායලය ඒ වෙනුවෙන් යහපත් ප්‍රතිචාරයක් දක්වා නැහැ.  ඔවුන් සදහන් කරන්නේ සටන් විරාමය අවසන් වූ වහාම හමාස් ත්‍රස්තවාදී සංවිධානය මුළිනුපුටා දැමීමට තමන් තමන්ගේ පූර්ණ බලය භාවිතා කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි. ඊශ්‍රායලය මෙසේ පවසද්දී හමාස් සංවිධානය ප්‍රකාශ කර තිබෙන්නේ තමන්ට සටන් විරාමය දීර්ඝ කිරීමේ අවශ්‍යතාවයක් පවතින බවයි. ඔක්තෝම්බර් 7 වෙනිදා හමාස් ත්‍රස්තවාදීන් වීසින් ඊශ්‍රායලයට ඇතුළුවී සිදුකල ප්‍රහාරයෙන් පසුව ඔවුන් ප්‍රාණ ඇපකරුවන් ලෙස පුද්ගලයන් 240ක් පමණ රැගෙන ගොස් තිබුණා. ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කරන්නේ දිගින් දිගටම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන්නේ නම් සටන් විරාමය දිගටම පවත්වාගෙන යාම වඩාත් සුදුසු බවයි.